ව්‍යවස්ථාවද, අනුග්‍රහයද? අප දස පණත පැවැත්විය යුතුද? වර්ථමානයේ අපගේ සිත් වල උන්වහන්සේ ලියා තිබෙන්නේ කුමක්ද?

අප දස පණත පැවැත්විය යුතුද? වර්ථමානයේ අපගේ සිත් වල උන්වහන්සේ ලියා තිබෙන්නේ කුමක්ද?

මේ අධ්‍යයනය විමර්ෂන සහ විවෘත මනසකින් බලා ඔබම තීරණය කරන්න. දේව වචනයේ නැති කිසිවක් මා මෙහි සඳහන් නොකරමි.

වසර ගණනාවක් තිස්සේ මගේ ඇතුලාන්තයේ කැකෑරෙමින් තිබෙන යමක් ප්‍රකාශ කරමි. මම මෝඩයෙක්, නමුත් කාරුණිකව බලන්න. අද සමහර කිතුණුවන්, දේව දාසයන් කියනවා දස පණත පවත්වන්න එපා, ව්‍යවස්ථාව පවත්වන්න එපා කියලා. අනුග්‍රහය වැරදි ලෙස අර්තකථනය කරනවා. ආඥා, පණත්, නීති, ව්‍යවස්ථාව යන වචනයන් අපට පටලැවෙන්න පුළුවන්. මෙය ඉතාමත් ප්‍රවේසමින් අධ්‍යනය කල යුතු කාරනාවකි. ඒ සඳහා ශුද්ධාත්මයාණන්ගේ උපකාරය බෙහෙවින් අවශ්‍යයයි. තවද දස පණත, මෝසෙස්ගේ ව්‍යවස්ථා, වෙනත් අඥා, ඒ අතර ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ලේ පූජාව සඳහා පුරාණ ගිවිසුමේ අඩයාලමක්ව තිබුනු වත්පිළිවෙත් හා නීති අප පටලවා නොගත යුතුයි. මෙය සමහරවිට සංකීර්නයැයි අපට සිතේ. නමුත් මෙම අධ්‍යයනය තුළ අපි මේ ගැන යම් දේවල් දේව වචනය තුළින් බලන්න යනවා.

දස පණත පැවැත්විය යුතු නැතැයි කියන, සබත් දවස පැවැත්විය යුතු නැතැයි කියන, අලුත් ගිවිසුම කොටස් දෙකකට එනම් යුදෙව්වන්ටයි අන්‍යයජාතීන්ටයි කියා කොටස් වලට බෙදා සාරවූ දේව වචනය පෙරලන, වතුර බෞතීස්මය අවශ්‍යය නැතැයි කියන බොරු කිතුණුවන්, බොරු ගුරුවරුන් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔබ සැබෑ කිතුනුවෙක්නම්, ඔවුන්ගේ මුලාවූ බොරු ඉගැන්වීම් වලින් ප්‍රවේසම් වෙන පිණිස මෙම අධ්‍යයනය රුකුලක් වනු ඇත.

මා සමඟ උරණ නොවී ඉවසීමෙන් මෙම අධ්‍යයනය විමර්ශණය කරන්න.

අවංකව අප බැලුවොත්, යේසුස් වහන්සේ පවා කීවේ උන්වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාව අවලංගු කරන්න නොව එය සම්පූර්ණ කරන්නය. (මතෙව් 5:17-20) තවද ප්‍රේමය නමැති නව ආඥාව තුළ දස පණත අන්තර්ගතයි. යේසුස් වහන්සෙයි ඒක පැවසූවේ. (මතෙව් 22 : 37-40)

විශේෂයෙන් දසපණත් සැබෑ කිතුණුවෙකුගේ ප්‍රධාන අවශ්‍යතාවයකි. යේසුස් වහන්සේගේ උතුම් කුරිසියේ පූජාව තුළින් අප ගැලවීම ලැබුවත්, අදටත් මෙය වලංගුය. එය පැවැත්විය යුතුමය. එම පණත් දහයම අදටත් වලංගුය. එය නව ගිවිසුම මගින් සනාථ කරයි. එය යේසුස් වහන්සේ මෙන්ම පාවුලුතුමාත් සනාථ කරයි. තවද එය වර්ථමානයේ අපගේ සිතේ ලියා තිබේ. මේ ගැන මෙම අධ්‍යයනයේ පසුව මා පෙන්වමි.

දස පණත වලංගු නැතැයි කියන අයත්, එහි එක් පණතක් වන සබත් දවස වලංගු නැතැයි කියන අයත් අවසානය තෙක් මේ අධ්‍යයනය විමර්ෂන සහ විවෘත මනසකින් බලා ඔබම තීරණය කරන්න.

අකමැතිනම් කිතුණුවන්ව මුලා නොකර නිශ්ෂබ්ද වනු. දෙවියන්වහන්සේගේ විනිශ්චය ඔබ ඉදිරියේ තිබේ.

අප පුරුද්ධට "පණත්" ලෙස කීවත් මෙය "ආඥා" ලෙස බයිබලයේ සඳහන් වේ. තවද දස පණත් (දස ආඥා) දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස දේව වචනයේ සඳහන් වේ.

ප්‍රථමයෙන් දසපණත සම්බන්ධව පහත කාරණා දෙස බලමු (ඉතා කෙටියෙන්):

1) මා හැර අන් දෙවිවරුන්ව ඇතුව නොසිටින්න.

පාවුලුතුමා මෙසේ පැවසීය... "මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව. " - (ක්‍රියා 14 : 15) - මෙහිදී පාවුලුතුමාම 1 වන ආඥාවේ වර්ථමාන වලංගු භාවය සනාථ කරයි.

තවද යේසුස් වහන්සේ කීවා... "උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක." - (මතෙව් 22 : 37-40), (මාර්ක් 12:28-34 ත් බලන්න.)

මෙහි මුළු ව්‍යවස්ථාව යනු ප්‍රධානකොට දස පණත ඇතුළු, මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොවන වෙනත් දෙවියන් වහන්සේගේ ආඥාවන්ය. මෙය ඉදිරියේ අපි බලන්න යනවා.

මෙය පාවුලු තුමාත් රෝම 13:9-10 හි අවධාරණය කරනවා. "මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය. ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය." - (රෝම 13 : 9-10)

ප්‍රේමය පදනම් කරගෙන අපේ සිත් වල ලියා තිබෙන දස පණත අප පැවැත්විය යුතු බව දේව වචනය පෙන්වයි. ඉදිරියේදී බලමු.

මෙහිදී දස පණතේ පරම අයිකරු වන යේසුස් වහන්සේ මෙය සනාථ කරයි. උන්වහන්සේ දස පණතෙන් එකක් රැගෙන මෙහිදී ප්‍රකාශ කිරීම තුළ අනිත් නවයත් වැදගත්, අවධානය යොමු කල යුතුයි.

තවද, යේසුස්වහන්සේ පැවසුවා... "එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්වයව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක. " - (මතෙව් 4 : 10)

අද ඇතැම් කිතුණුවන් නොදැනුවත්වම ලෞකික දේවල්, දේව දාසයන්ව, දේව සේවය පවා දේවත්වයට ගෙනෙයි. එය සුදුසු නැත. එමනිසා දේව භයින් 1 වන ආඥාව පැවැත්වීම තුල අප උන්වහන්සේට ප්‍රේම කරන්නෙමු.

2) කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.

පාවුලු තුමා මෙසේ පැවසූවා... "එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න." - (1 කොරින්ති 10 : 14)

"... වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ... දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය." - (1 කොරින්ති 6 : 9)

යොහාන් තුමා මේසේ පැවසූවා... "මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න. " - (1 යොහන් 5 : 21)

මෙහිදී මුල් සභා යුගයේදීත් අපොස්තලුවරුන් මෙම 2 වන ආඥාවේ වලංගුභාවය සනාථ කලා. විශේෂයෙන් ප්‍රධාන සභාවක් මෙම පණත වසර දහස් ගණනක් තිස්සේ දැඩි ලෙස උල්ලන්ගනය කර ඇත.

අප දේව භයින් 2 වන ආඥාවද පැවැත්වීමෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කළ යුතුයි.

3) නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව.

යේසුස් වහන්සේ මෙසේ පැවසූවා... "... බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත් ... ගැනත් නොදිවුරන්න." - (මතෙව් 5 : 33-37)

යාකොබ්තුමා මෙසේ පැවසීය... "නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා." - (යාකොබ් 5 : 12-20)

මෙපමණක් නොව අද කිතුණුවන්, බොරු ප්‍රොපේතයන්, දෙවියන්වහන්සේගේ නාමය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය, ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරමින් මෙම පණත දැඩි ලෙස උල්ලංගනය කර ඇත.

"වියගහට යටත්වූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝයයි සිතත්වා. " - (1 තිමෝති 6 : 1)

"... නුඹලා දරන උතුම් නාමයට අපහාසකරන්නේ ඔවුන් නොවේද? ..." - (යාකොබ් 2 : 7)

මෙහිදී 3 වන ආඥාවත් නව ගිවිසුම තුළ සනාථ කර ඇත. එමනියා දේව භයින් මෙය පවත්වමින් දෙවියන්වහන්සේට අප ප්‍රේම කළ යුතුය.

4) සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.

මෙහිදී මුලින්ම තෙරුම් ගන්න ඔනේ දස පණතේ අඩංගු මෙම පණත හැර තවත් මංගල්‍යයම සබත් පැරණි ගිවිසුමේ තිබේ. ඒවා කිසි සේත් අප පැවැත්විය යුතු නැත. ඒවා හුදෙක් අඩයාලම් පමණි.

කොලොස්සි 2:16 හි සඳහන් වන සබත් දවස් මෙම මංගල්‍යයම සබත් දවස්ය. එනම් "එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.."

යේසුස් වහන්සේ සබත් දවස පැවැත්වූ බව නව ගිවිසුමේ බොහෝ ස්ථාන වල සඳහන් වේ.

"උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක." - (ලූක් 4 : 16)

තවද පරිසියන්ගේ සබත ගැන තිබුනු අදාල නැති අමතර කාරනා යේසුස් වහන්සේ කඩ කලා.

යේසුස් වහන්සේ මෙසේත් පැවසුවා... "නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න.." - (මතෙව් 24:20) ... ක්‍රි. ව. 70 දී පමණ මෙය සිදුවුනා, එනම්, රෝම ජෙනරාල් ටයිටස් විසින් ජෙරුසලම විනාශ කරන ලදී.

පාවුලු තුමා... "පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්..." - (ක්‍රියා 17 : 2)

"සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්‍රීන්ට කථාකෙළෙමුව." - (ක්‍රියා 16 : 13)

තවත් බොහෝ ස්ථාන තිබේ.

"එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය. එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු." - (හෙබ්‍රෙව් 4 : 9-11)

යේසුස් වහන්සේත්, උන්වහන්සේගේ ගෝලයන් වන අපෝස්තලුවරුන් සමඟ මුල් සභාව සබත පැවැත්වූවා. තවද සබත නොපවත්වන පිණිස අලුත් ගිවිසුමේ කිසිවෙක් ප්‍රකාශ කළේ නැත.

දෙවියන්වහන්සේ ලෝකය මවන විටදී එම දවස් 7 යුදෙව් හෝ වර්ථමාන දින දර්ශනයට සමාන නොවන දින 7ක් වුනි. මෙම මැවීමේ දින 7 ලූනා දින දර්ශනයවත්, වර්ථමාන ග්‍රෙගරියන් දින දර්ශනයවත් නොවේ. මක්නිසාද ඉර සඳ තාරකා මැව්වේ 4 වන දවසේය. එමනිසා සබත් දවස සිකුරාදාද, සෙනසුරාදාද, ඉරිදාද ගැන නිරර්ථක තර්ක නොකර දවස් 6ක් වැඩ කර 7ත් වෙනි දවස අප ශුද්ධ ලෙස පැවැත්විය යුතුය.

තවද ආදම් සහ ඒව යුදෙව්වරුන් නොවේ. නමුත් "දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක." - (උත්පත්ති 2 : 3) ... මේ මොහොතේ ආදම් සහ ඒව පාපයට වැටී තිබුනේද නැත.

"කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක." - (නික්මයාම 20 : 11)

"උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය. 28එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක." - (මාර්ක් 2 : 27) ... සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය. යුදෙව්වරුන්ට පමණක් නොවේ.

තවද පරමාර්ථය තුළ දස පණත යුදෙව්වරුන්ට පමණක් නොවේ. මක්නිසාද එහි සඳහන් වන පාපය මුළු මිනිස් වර්ගයාම කරන පාපයන්ය.

"එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය." - (නික්මයාම 20 : 10)

"නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට..." - (යෙසායා 58 : 13)

සබත් දවස යුදෙව්වරුන්ගේ නොව දෙවිවූ ස්වාමීන් වහන්සේගේය.

"ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද..." - (යෙසායා 56 : 6)

සබත් දවස දෙවියන්වහන්සේව අදහන විදේශීන්ද පැවැත්විය යුතුයි.

තවද අළුත් අහසේ සහ පොළොවේදී සබත් දවස පවත්වයි... "මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 23තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක." - (යෙසායා 66 : 22-23)

සබත් දවස ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාව අපට අදාල නැත. තවද මනුෂ්‍යය නියෝගද අදාල නැත. යේසුස් වහන්සේත් මනුෂ්‍යය නියෝග කඩකරමින්, දාවිත්ගේ උදාහරණය ගෙන සබත් දවසේ අනිසි බරට විරුද්ධව සිටිමින් රෝගීන්ව පවා සුවකරමින් සබත් දවස පැවැත්වූවා.

සබත් දවසේ වියළි අතක් ඇති මනුෂ්‍යයෙකු සුවකිරීම.

"උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක. එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද? එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා- නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගු කෙළේය; එවිට ඒක අනික් අත මෙන් සුවවිය." - (මතෙව් 12 : 9-13)

චාරිත්‍ර හා මුඛ පාඨ පිළිබඳ ප්‍රශ්න විසඳීමක්.

"එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද? නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට-මාගෙන් නුඹට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය. වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට: මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක." - (මතෙව් 15 : 1-9) (මාර්ක් 7 ත් කියවන්න )

සබත් පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය.

"තවද උන්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ යමින්ම කරල් කඩන්ට පටන්ගත්තෝය. එවිට ඵරිසිවරු කථාකොට: මෙන්න, සබත් දවසේදී නොකටයුතු දේ මොවුන් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද හිඟයක් වී බඩගිනිවූ කල්හි කළ දේ, එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය. එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක." - (මාර්ක් 2 : 23-28)

අපේ විශ්‍රාම ස්ථානය ස්වර්ගයයි. එමනිසා ස්වර්ගයට යනතෙක් සබත් දවස අප පැවැත්විය යුතුයි. එය ඇදහිල්ලෙන්, දේව භයින් පැවැත්වීම තුළ අප උන්වහන්සේට ප්‍රේම කල යුතුය.

5) නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.

යේසුස් වහන්සේ මෙසේ පැවසූවා... "නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට-මාගෙන් නුඹට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය." - (මතෙව් 15 : 4-6)

තවද පාවුලු තුමා මෙසේ පැවසූවා... "දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය." - එපීස 6 : 1-3

මෙමඟින්ද පෙනෙන්නේ මෙම 5 වන ආඥාවද දේව භයෙන් අප පැවැත්වීම තුළ දෙවියන්වහන්සේට අප ප්‍රේම කල යුතුය.

6) මිනීනොමරව. 7) කාමමිථ්‍යාචාරය නොකරව. 8) සොරකම් නොකරව. 9) නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. 10) නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත්...

යේසුස් වහන්සේ මෙසේ පැවසුවා... "කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය." - (මතෙව් 5 : 27-28)

"මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.." - (මතෙව් 15:19)

පාවුළු තුමා මෙසේ පැවසූවා... "මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය. ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය." - රෝම 13 : 9-10

"විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.." - (හෙබ්‍රෙව් 13:4)

ඉහත ඉතිරි පණත් ගැනද අලුත් ගිවිසුමේ බොහෝ සඳහන් වන අතර අනුග්‍රහයෙන් පමණක් මෙම පණත් පැවැත්විය නොහැක. මෙම පණත් පවත්වන්න අවශ්‍යය නැතැයි අපට කිව නොහැක.

ගැලවීම ලැබුවාවූ කිතුණු අපිට මෙම පරීක්ශා තිබෙන අතර මෙම අඥා දේව භයින් පැවැත්වීම තුල අප දෙවියන් වහන්සේට ප්‍රේම කල යුතුය.

ගැලවීම ලැබුවාවූ කිතුණුවකු පාපයට වැටිය හැකි අතර එය මනින මිම්ම මූලික ලෙස ඇත්තේ දස පණත තුළයි.

අද බොහෝ කිතුණුවන්, ගැලවීම ලැබුවා වූ කිතුණුවන් දස පණත කඩමින් සිටී. ඒ තුල දෙවියන්වහන්සේගේ ආඥා කඩමින්, දේව භයක් නැතිව, කරුණාව සහ අනුග්‍රහය තුළ දේව වචනය සුළු කරමින් සිටී.

අඩුගානේ පාපයට වැටුනා කියලා දැනෙන්නවත් තිබෙන නිර්දේශකය තියෙන්නේ කොහේද? දස පණත තුලයි. පාපයට වැටුනේ දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරමින්, දේව භයෙන් උන්වහන්සේගේ පණත් / අඥා නොපැවැත්වීම නිසයි. ප්‍රේමය හා ඇදහිල්ල ගැන පමණක් කථාකලහොත්, දේව භය අඩුවිය හැක. පණත් පවත්වන්නේ නැත්නම් දේව භයක්ද ඔවුන් තුළ නැත. අපේ සිත් තුළ ලියා ඇති පණත් පවත්වන්න අපට උපකාර කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේය.

ගැලවීම වෙර දරමින් ආරක්ශා කලයුතු බවත්, අන්තිමය තෙක් ස්ථිරව සිටිය යුතු බවත් දෙව වචනයේ සඳහන් වේ. අනුග්‍රහය සහ ඇදහිල්ල තුළින් පමණක් මෙය කල නොහැක. දේව භය බොහෝ අවශ්‍යය. දෙව භය තුලින් ප්‍රදාන කොට කිතුණුවෙකු වර්ථමානයේත් දස පණත පැවැත්විය යුතුමය. මක්නිසාද එවා වර්ථමානයේ අපේ සිත් තුළ ලියා ඇත.

නමුත් මා කලින් පැවසූ ලෙස වෙනත් අඥා, මෝසෙස්ගේ ව්‍යවස්ථා එනම් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ලේ පූජාව සඳහා පුරාණ ගිවිසුමේ අඩයාලමක්ව තිබුනු වත්පිළිවෙත් නීති, හා එවැනි ව්‍යවස්ථාවන් අප කිසි සේත් පැවැත්විය යුතු නැත.

දස පණත දෙවියන්වහන්සේගේ අතින් ලියා දුන් දෙයකි. වෙන කිසි ආඥාවක් එසේ දුන්නේ නැත. තවද ගිවිසුම් පෙට්ටියේ දමන ලද්දේද මෙයයි. අනෙක් ඒවා පසෙකින් තැබුවේ. මොසෙස්ගේ ව්‍යවස්ථාවේ නීති 600ක් පමණ ඇති බව කියැවේ, නමුත් මා මේ කථාකරන දස පණත අදටත් පරම පිම්මකි, දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් පැවැත්විය යුතු කාරනයකි.

ශුද්ධ බයිබලය ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සහ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලෙස කොටස් දෙකක් ගැන කථා කරයි

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ හඬින් ප්‍රකාශ කර සීනායි කන්දේදී දෙන ලදි. ජනතාව හඬ අසන ලදි.

"ස්වාමීන්වහන්සේද: බලව, මා නුඹ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම නුඹ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් නුඹ වෙතට එමියි මෝසෙස්ට කීසේක." - (නික්මයාම 19 : 9)

"දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්: " - (නික්මයාම 20 : 1)

"ස්වාමීන්වහන්සේද ගිනි මැද සිට නුඹලාට කථාකළසේක. නුඹලා වචන හඬ ඇසූ නුමුත් කිසි රූපාකාරයක් දුටුවේ නැත; හඬ පමණක් නුඹලාට ඇසුණේය. උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක." - (ද්වීතීය කථාව 4 : 12-13)

නමුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පෞද්ගලිකව මෝසෙස්ට දෙන ලදි. ඉශ්‍රායෙල් ජනතාවට නියෝගයක් ලෙස දෙන පිණිස.

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ගල් ලෑලිවල ලියා මෝසෙස්ට දූනි.

"උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක. " - (නික්මයාම 31 : 18)

ඉහත සඳහන් (ද්වීතීය කථාව 4 : 12-13)

මෝසෙස්ගේ ව්‍යවස්ථාව දෙවියන්වහන්සේ මෝසෙට එළිදරව් කළ අතර මෝසෙස්ගේ අතින් ලියන ලදි

"මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,..." - (ද්වීතීය කථාව 31 : 9)

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේ විසින්ම අණ කරන ලදි.

"උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී..." - (ද්වීතීය කථාව 4 : 13)

මෝසෙස්ගේ ව්‍යවස්ථාව මෝසෙස් විසින් ඉශ්‍රායෙල් ජනතාවට අන කරන ලදි, තවද එම ව්‍යවස්ථාව විනිශ්චයන් හා නීති වලින් සමන්විතය. ඉශ්‍රායෙල්ට විරුද්ධව සාක්ශියක්ව තිබේ.

"ලෙවීවරුන්ට මෝසෙස් අණකරමින්: මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න." - (ද්වීතීය කථාව 31 : 26)

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අද්විතීය ලෙස ගිවිසුම් පෙට්ටිය තුළ තබන ලදි.

"මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න." - (නික්මයාම 25 : 16)

මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගිවිසුම් පෙට්ටිය පසෙකින් තබන ලදි. තවද එය ඉශ්‍රායෙල්ට විරුද්ධව සාක්ෂියක්ව තිබේ.

"තවද මෝසෙස් මේ ව්‍යවස්ථාවේ වචන තීන්දුවටම පොතක ලියා නිමකළ කල්හි, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට මෝසෙස් අණකරමින්: මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න." - (ද්වීතීය කථාව 31 : 24-26)

"එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ." - (දානියෙල් 9 : 11)

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සහ මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලෙස කොටස් දෙකක් ගැන 2 රාජවලිය පොතේ සඳහන් වේ.

"මා විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක." - (2 රාජාවලිය 21 : 8-26)

එය දානියෙන් පවා සඳහන් කරන ලදි.

"එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ." - (දානියෙල් 9 : 11)

එමනිසා සැබෑ කිතුණුවෙකුට බයිබලයට එහා යා නොහැක. තවද එමනිසා ව්‍යවස්ථාව කොටස් දෙකකින් සමන්විත බව තේරුම් ගත යුතුය. මක්නිසාද දස පණත සෑම කල්හිම වලංගුය. එය වර්ථමානයේ අපගේ සිත් තුළ ලියා තිබේ. නමුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉශ්‍රායෙල්ටත් තවද එය ශාපයද දිවුරුමද, විරුද්ධව සාක්ෂියක්වද තිබේ.

"අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය." - (කොලොස්සි 2 : 14-17)

මෙම පදය හරිලෙස පරිවර්ථනය කර නොමැත. පහත සඳහන් ඉංග්‍රීසි පරිවර්ථනය බලන්න.

"Blotting out the handwriting of ordinances that was against us, which was contrary to us, and took it out of the way, nailing it to his cross;" - (Colossians 2:14) (KJV)

"Having wiped out the handwriting of requirements that was against us, which was contrary to us. And He has taken it out of the way, having nailed it to the cross." - (Colossians 2:14) (NKJV)

මෙහි සඳහන් වෙන්නේ දස පණත ගැන නොවේ. මෙම වචනයේ එල්ලී නොසිට මුළු ලියවිල්ල දෙස බලන්න. පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක් වූයේ දස පණත නොවේ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවයි.

"මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගනිල්ලා.ඉතින් නුඹලා සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් නුඹලාට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා නුඹලාට ප්‍රශංසාකරමි." - 1 කොරින්ති 11:2

"මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න. ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න." - (හිතෝපදේශ 7:1-3)

"ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය. මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි." - (මතෙව් 5:17-20)

"නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක. නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය. ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය. යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක." - (යොහන් 14 : 15-21)

වර්ථමානයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව (දස පණත ) අපගේ සිත් වල ලියා තිබේ.

"ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත." - (හෙබ්‍රෙව් 10 : 16-18)

"මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න. ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න." - (හිතෝපදේශ 7 : 1-3)

"එවිට මම කථාකොට: මෙන්න, මම ඇවිත් සිටිමි; පොත් කාණ්ඩයෙහි මා ගැන ලියන ලද්දේය. මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි." - (ගීතාවලිය 40 : 7-8)


තවත් අමතර බයිබල් පද කීපයක්.

ඉතා මහත් ආඥාව ගැන ප්‍රශ්නය.

"එවිට ලියන්නන්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා අසා, උන්වහන්සේ මනාසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන: සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය. දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක. එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත. මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේමකිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකිරීමත් සියලු මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්යයි කීය. ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: නුඹ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය." - (මාර්ක් 12 : 28-34)

පාපයට සේවයකිරීම සහ ධර්මිෂ්ඨකමට සේවයකිරීම.

"මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක. එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න. එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා. නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න. කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය." - (රෝම 6 : 10-14)

"එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා. නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද? එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී, පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා. නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න. මක්නිසාද නුඹලා පාපයාගේ දාසයෝව සිටියදී ධර්මිෂ්ඨකම සම්බන්ධව නිදහස්ව සිටියහුය. ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලැජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය. නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය. මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය." - (රෝම 6 : 15-23)

ව්‍යවස්ථාවේ බලයෙන් නිදහස්වීම. විවාහය ආදර්ශකොට ගැනීම.

"නොහොත්* සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව නුඹලා නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.) (* මෙය 6 වෙනි පරිඡේදයේ 14 පදය හා සම්බන්ධයි) පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය. පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය. එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස නුඹලාද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැදී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය. මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය. නුමුත් අපි යමකට බැදී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව." - (රෝම 7 : 1-6)

ව්‍යවස්ථාව සහ පාපය. මනුෂ්‍යයාගේ ප්‍රතිවිරෝධ ගති දෙක.

"එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත. නුමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙවුවේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ. මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි. මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි. මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය. එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය. එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය. මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි. මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය. ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි. එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය. මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය. එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය." - (රෝම 7 : 7-25)

ප්‍රේරිත තැනගේ මෙහෙයේ දිව්‍ය සාක්ෂිපත්‍ර.

"අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර නුඹලාට දෙන්ට හෝ නුඹලාගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද? අපගේ පත්‍රය නම් නුඹලාය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති. මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නැමති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ. එබඳු විශ්වාසයක් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය. එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය. තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට (යෙරමියා 31 : 31-33) අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය." - (2 කොරින්ති 3 : 1-6)

මෙහි කථා කරන අලුත් ගිවිසුමනම්... "බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය." - (යෙරමියා 31 : 31-33)

ශුභාරංචියේ සේවය ව්‍යවස්ථාවට වඩා තේජවත්ව තිබෙන බව.

"ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්, ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද? මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ. එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ. මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ. එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව. පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව. ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය. අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ. එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ. ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව." - (2 කොරින්ති 3 : 7-18)

මෙහි මරණයාගේ සේවය යනු ව්‍යවස්ථාවේ ශාපයයි. පහත සඳහන් "යෝෂුවා 8 : 30-35" කියවන්න. මරණයාගේ සේවය ක්‍රියාත්මක වන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරන විට, මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළිනි. දස පණත මරණයාගේ සේවය නොවේ. බයිබලය අධ්‍යනය කරන විට ඉතා ප්‍රවේසම් විය යුතුය, මක්නිසාද ඉතාමත්ම වැඩි ප්‍රතිශතයක් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් ප්‍රධාන කොට දස පණතනේ වර්ථමාන වලංගුභාවය සනාත කරන අතර වචන කිහිපයක් තුළින් බයිබලය පරස්පර විරෝදී නොවේ. නැවත කියමි යේසුස් වහන්සේ අවලංගු කොකල කිසිවක් අපොස්තළුවරුන්ටවත් වෙනත් කිසිවෙකුටත් අවලංගු කළ නොහැක.

තවද මෙහි නැතිවීගියේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් ප්‍රධානකොට දස පණත නොව මෝසෙස්ගේ ව්‍යවස්ථාවයි, ආත්මයේ සේවය යනු අප හදවත්වල ලියා තිබෙන දෙවියන්වහන්සේගේ පණත් පැවැත්වීමට උතුම් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන්වහන්සේගේ මුළු සත්‍ය කරා මඟ පෙන්වමින් උන්වහන්සේ අප තුළ කරන තේජාන්විත ක්‍රියාවයි . මෙය තෙරුම් ගන්න බැරි කිතුණුවන් මෙලෝ දේව ආත්මයක් නැතුව නිරර්ථක තර්කයන්හි යෙදේ. ඔය නිරර්ථක තර්ක කරන අය දාවිත් තුමා වගේ උන්වහන්සේගේ සිතට එකඟ පුද්ගලයන්ද? කිසිසේත් නැත. ඔවුන්, ඔවුන්ගේම මතවල සිර වී මුලාවේ සිටී.

ව්‍යවස්ථාවේ ආශීර්වාද සහ ශාප... "එවිට යෝෂුවා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකළ පරිදි මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ලෙස, කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවාවූ* පියවි ගල්වලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒබාල් කන්දෙහි පූජාසනයක් ගොඩනැගුවේය. ඔව්හු ඒක පිට ස්වාමීන්වහන්සේට දවන පූජා පුදා, ශාන්ති පූජාද ඔප්පුකළෝය. (* ද්විතීය කථාව 27:6 බලනු) ඔහු එහිදී ඒ ගල් පිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියුවේය. ඔහු එය ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි ලියුවේය. සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය. ඉන්පසු ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය. මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය." - (යෝෂුවා 8 : 30-35)

ව්‍යවස්ථාවේ අසම්පූර්ණකම.

"තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා. මක්නිසාද මා විසින් කඩා දමනලද දේවල්ම මම නැවත ගොඩනගන්නෙම් නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පුකරමි. ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි. මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොටගෙන වේ නම් ක්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළසේක." - (ගලාති 2 : 15-21)

මෙහි ව්‍යවස්ථාවේ ක්‍රියා යනු මෝසෙස්ගේ ව්‍යවස්ථාව වන අතර එය කිසි සේත් දස පණත නොවේ.

දෙවියන්වහන්සේ අප පිළිගන්නේ ව්‍යවස්ථාව (මෝසෙස්ගේ ව්‍යවස්ථාව) නිසා නොව ඇදහිල්ල නිසා බව.

"අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද? නුඹලාගෙන් මේක පමණක් දැනගන්ට කැමැත්තෙමි: එනම්, නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? නුඹලා මෙපමණ අඥානද? ආත්මයාණන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද? නුඹලා එපමණ දේ නිෂ්ඵලලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද? ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාසකළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය. එබැවින් ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. තවද දෙවියන්වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨකරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක: නුඹ තුළ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා ශුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශකළේය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය. ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය. සහෝදරයෙනි, මම මනුෂ්‍යාකාරයෙන් කථාකරමි. මනුෂ්‍යයෙකුගේ ගිවිසුම්පත්‍රයක් වුවත් ස්ථිරවී නම්, කිසිවෙක් එය අවලංගුකරන්නේවත් ඊට කිසිවක් එකතුකරන්නේවත් නැත. ඉතින් පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි උන්වහන්සේ කියනසේක. ඒ වංශය නම් ක්‍රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය. මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය." - (ගලාති 3 : 1-18)

මෙහි ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවේ ක්‍රියා යනු මෝසෙස්ගේ ව්‍යවස්ථාව වන අතර එය කිසි සේත් දස පණත නොවේ.

ව්‍යවස්ථාවේ අදහස.

"එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය. තවද මැදහත්කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳව නොවේය; නුමුත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ය. එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත. එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය. නුමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂාකරනු ලැබුවෙමුව. මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ." - (ගලාති 3 : 19-24)

ඇදහිල්ල කරණකොටගෙන සිදුවන දේ.

"නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව. මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ. ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය." - (ගලාති 3 : 25-29)

ක්‍රිස්තුස්වහන්සේ හෝ ව්‍යවස්ථාව හෝ තෝරාගත යුතු බව.

"ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න. ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි. එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි. ව්‍යවස්ථාව කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන්ට සතුටුවූ නුඹලා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්කරනලද්දහුය. නුඹලා අනුග්‍රහයෙන් වැටී සිටින්නහුය. මක්නිසාද අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන බලාසිටිමුව. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත. නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය. නුඹලා වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම නුඹලා ගැන විශ්වාසකරමි. නුමුත් නුඹලාව වියවුල්කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත. නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය. නුඹලාව වියවුල්කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි." - (ගලාති 5 : 1-12)

නිදහස පැවැත්වීම ප්‍රේමයට යටත්ව තිබිය යුතු බව.

"මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න. 14මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ, 15නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න." - (ගලාති 5 : 13-15)

ආත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම.

"නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි. මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති. නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය. ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි. නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය. අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු." - (ගලාති 5 : 16-26)

අන්‍යජාතීන් හා යුදෙව්වන් සභාවෙහි එක්ව සිටින බව.

"එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා, ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න. නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය. මක්නිසාද වෙන්කිරීමේ මැද භිත්තිය බිඳදමා, ඒ සතුරුකම නමැති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට, දෙගොල්ල එක්කළ උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක; එසේ කළේ සමාදානකරමින් තමන් තුළ දෙගොල්ල එක අලුත් මනුෂ්‍යයෙක් කොට මවන පිණිසත්, කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දොගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමඟිකරදෙන පිණිසත්ය. උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක. මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය." - (එපීස 2 : 11-22)

නපුරෙන් වැලකෙන්න

"නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. ආත්මයාණන්වහන්සේ නොනිවන්න; අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න; සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න; සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න." - (1 තෙසලෝනික 5 : 17-22)

ඇදහිල්ලෙන් වැටීමක් ගැන කලින් කියාදීම.

2 තිමෝති 3 : 1-9, තිමෝතියස්ගේ පරෙස්සමට ගුරුකම්. (2 තිමෝති 3 : 10-17)

දෙවියන්වහන්සේගේ නිවාඩුව.

"එබැවින් උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භයවෙමු. මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය. මක්නිසාද අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව; ඒ ප්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ කියා තිබේ. එසේවුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය. මක්නිසාද උන්වහන්සේ එක් තැනක සත්වෙනි දවස ගැන කථාකොට: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සියලු වැඩවලින් සත්වෙනි දවසේදී නිවාඩු ගත්සේකැයි කියා තිබේ. නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි කියා තිබේ. එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්, උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසු කථාකරවමින්, ඉහත කීවාක්මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියමකරනසේක. මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත. එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය. එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු. මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය." - (හෙබ්‍රෙව් 4 : 1-13)

පුරාණ මණ්ඩපය සහ එහි අසම්පූර්ණ මෙහෙයවල්., ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවෙහි අන්තර්ගත පිරිසිදුකිරීමේ බලය., ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ අසදෘශතාව.

හෙබ්‍රෙව් 9 : 1-28 - මෝසෙස්ගේ ව්‍යවස්ථාව, එහි ක්‍රියා සහ වත්පිළිවෙත් වර්තමාන කාලයට උපහැරණයක්ය. නමුත් මෙහි මේ කථා කරන්නේ දස පණත ගැන නොවේ.

ව්‍යවස්ථාවට අයත් පූජාවල අසම්පූර්ණකම සහ ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ සම්පූර්ණකම.

"මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන. පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන. එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක; මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක. එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක. ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු: මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක. ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව. තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති. නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක." - (හෙබ්‍රෙව් 10 : 1-14)

"ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්: ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත." - (හෙබ්‍රෙව් 10 : 15-18)

දෙවියන්වහන්සේගේ අභිමුඛයට ළඟාවීමේ අයිතිවාසිකම සහ පසුබටවීයාමේ මහත් වරද.

"එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු. අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු. මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළුකළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරනු ලබන්නේය. නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?" - (හෙබ්‍රෙව් 10 : 19-29)

"එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්. උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ, අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි. අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව." - (ගීතාවලිය 78 : 1-4 )

"ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්, මාගේ පණත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්, ඔවුන්ගේ අපරාධයට ඉපෙලන්ද ඔවුන්ගේ අයුතුකමට පහරවලින්ද දඬුවම්කරන්නෙමි." - (ගීතාවලිය 89 : 30-32)

විශේෂ අනුශාසනා.

"සහෝදර ස්නේහය පවතීවා. ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය. නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න. විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. 6මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව." - (හෙබ්‍රෙව් 13 : 1-6)

"නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය." - (යාකොබ් 1 : 25-27)

දෙවියන්වහන්සේ විසින් සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ සිතට එකඟ තැනැත්තෙක් වූ දාවිත් තුමා ශුද්ධාත්මයාණන් තුල පැවසූ දේ...

සිතට එකඟ...

"නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.." - (1 සාමුවෙල් 13:14)

"උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.." - (ක්‍රියා 13:22)

ශුද්ධ බයිබලයේ දිගම පරිච්ඡේදයේ ඇසුරින් අපි බලමු (ගීතාවලිය 119).

"මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය. ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි." - (ගීතාවලිය 119 : 54-55) - මෙහි දාවිත්තුමා ප්‍රධානකොට දස පණත ඇතුළු උන්වහන්සේගේ ආඥා පැවැත්වීය. මෙය මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොවන බව ශුද්ධාත්මයාණන් තුල අප උත්සාහ කළ යුතුය.

"මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි." - (ගීතාවලිය 119 : 59-60) - දාවිත්තුමා පාපයට වැටුනත්, ඔහුගේ මාර්ග නිතර කල්පනා කරමින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමට (ප්‍රධානකොට දස පණත) උත්සාහ කළේය.

"යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි." - (ගීතාවලිය 119 : 66) - බලන්න දෙවියන්වහන්සේගේ සිතට එකඟ මොහු පවසන දේ.

"මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය." - (ගීතාවලිය 119 : 77)

"මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා." - (ගීතාවලිය 119 : 80) - යේසුස් වහන්සේ අවලංගු නොකළ දෙවියන්වහන්සේගේ පණත්, එනම් වර්ථමානයේ අපගේ සිත් වල ලියා තිබෙන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීම තුළ අප ලැජ්ජාවට පත් නොවේ.

"ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක." - (ගීතාවලිය 119 : 93)

"ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය." - (ගීතාවලිය 119 : 97-98)

"ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය." - (ගීතාවලිය 119 : 148) -

"ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය." - (ගීතාවලිය 119 : 151)

"ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය." - (ගීතාවලිය 119 : 160)

"ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය." - (ගීතාවලිය 119 : 165)

පැමිණෙන්ට සිටියාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන බොහෝ අනාගතවාක්‍යය ශුද්ධාත්මයාණන් තුල පැවසුවාවූ, දෙවියන් වහන්සේගේ සිතට එකඟ දාවිත්තුමා ඇතුළු මුළු ශුද්ධ බයිබලය තුළ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන එයට සාහාය දක්වන අතර වර්ථමානයේ අපගේ සිත් වල ලියා ඇති දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වසර 3000කට පමණ පෙර දාවිත් තුමාගේ සිතේ ලියා තිබුණි. ඔහුගේ භාවනාව තුලින්, දේවානුභාව ප්‍රකාශ තුළින් එය මැනවින් පෙනේ.

අද වචනය පටලවාගෙන, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සුළු කරමින්, අනුග්‍රහය, ප්‍රේමය සහ ඇදහිල්ල ගැන ප්‍රමාණයට වඩා මොරගසමින් දඟලන ඇතැම් ශ්‍රී ලාංකික කිතුණුවන්ගේ වර්ථමාන භාවනා දාවිත්තුමාගේ මෙන් භාවනාවක් නොව බොහෝ දුරට උඩඟුකාරව මෙසේ විය හැක, එනම්... "කෙසේ හෝ ව්‍යවස්ථාව නොව අනුග්‍රහය ගැන පමණක් කිතුණුවන්ට මා ප්‍රකාශ කළ යුතුය, කොහොම හරි වචනයේ තිබෙන දේ වචනාර්ථයෙන්ම ගනිමින් මෙම අළුත් අමුත් ඉගැන්වීම් පතල කල යුතුය..." යන්නය. මෙවැනි වචනය පෙරලන බොරු කිතුනුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන්ගේ මුළු භාවනාවම මෙය පමණි.

බොහෝ විට ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් තුළ නැත. දේව වචනයට, එහි සාර වූ ඉගැන්වීමට අනුකූල නොවන දේ ඔවුන් වචනාර්ථයෙන් ස්ථිර කරගන්න මුළු වෙහෙස දරන අතර ඔවුන් සැබෑකමට ප්‍රේම නොවී, තම මතවලට ප්‍රේම වී ක්‍රියා කරමින් සිටී. "... මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය... " - (2 තෙසලෝනික 2:10)

මිථ්‍යා ඉගැන්වීම.

"යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්, ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ, සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය." - (1 තිමෝති 6 : 3-5)


දෙවියන් වහන්සේගේ ආඥා රක්ෂාකරන්න, විශේෂයෙන් දස පණත පවත්වන්න ශුද්ධාත්මයාණන් වහන්සේ අපට උපකාර කරනු ඇත.

අසම්පූර්න, වැරදි ඉගැන්වීම් මා පිළිගන්නේ නැත. කවුරුන් කුමනදෙයක් මෙම පෝස්ට් එකට විරුද්ධව පැවසුවත්, මෙය මා දිවි ඇති තෙක් අවධාරනයෙන් කියමි. තවද යේසුස් වහන්සේ ප්‍රකාශ කරන සහ බලාපොරොත්තු වන ධර්මිෂ්ඨ කමට වඩා ධර්මිෂ්ඨ වෙන්න මට අවශ්‍යය නැත. මා ගන්නා ආදර්ශය යේසුස් වහන්සේ තුළත්, ශු. ලියවිල්ලේ සඳහන් වන දේව දරුවන්ගේත් ආදර්ශයන්ය. තවද වසර 2000ක් තිස්සේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ සභාව වර්ධනය කරන ක්‍රමයට අනුකූල නොවන දේ මා පිළිගන්නේද නැත. මා මෙම පෝස්ට් එකෙන් පැවසූවේ දස පණත (දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව) ගැනය, මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොවේ.

උන්වහන්සේ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් ප්‍රධාන කොට දස පණත අපගේ සිත් වල දැන් ලියා තිබේ. සිතේ ලියා තිබෙන දේ ශුද්ධාත්මයාණන් වහන්සේ අපට සිහි ගන්වන අතර අප එය ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන පිණිස පැවැත්විය යුතුය. පෙර කාලයේ ගල් ලෑලි වල ලියූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව, වර්ථමානයේ අපගේ සිත් වල ලියා තිබෙන බැවින් දස පණත පවත්වන්න එපා, සබත පවත්වන්න එපා යැයි පවසන්නේ නැතිව, ශුද්ධාත්මයණන්ගේ උපකාරය සහ මඟපෙන්වීම තුල, අනුග්‍රහයත්, ඇදහිල්ලත් තුල දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරමින් අප උන්වහන්සේගේ ඊමට සූදානම් විය යුතුය.

සියළු මහිමයත්, ගෞරවයත් ජීවමාන දෙවිපියාණන් වහන්සේටම අත් වේවා.

ඔබ සැමට යේසු පිහිටයි.

ප්‍රථම කොට ශුද්ධාත්මයාණන් වහන්සේ මා තුල ඇතුලාන්තයෙන්ම ප්‍රකාශ කළ දේවල් ස්ථිර කරමින්, විමර්ෂනාත්මක අධ්‍යයනය සහ තුළින් සැකසුම සහ සංස්කරණය - සහෝදර චමත්